Tuesday, December 19, 2017


දූපතින් ඔබ්බට.....

ශ්‍රී ලාංකිකයන් වන අප ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන වර්ග කිලෝ මීටර හැට පන්දහසක් පමණ වන කුඩා දූපතක ජීවත් වෙමු. දූපත කුඩා වුවද වසර දෙදහස් පන්සියයකට අධික ලිඛිත ඉතිහාසයක් මෙන්ම එකී ඉතිහාසයෙන් අප ලද වටිනා සංස්කෘතික දායාදයන් සිහිපත් කරවන අදටත් පවතින සාක්ෂි ‍රැසක්ද අප සතුය. ඓතිහාසික උරුමය මත මෙය සිංහලයන්ගේ රටයි. මේ රට ගොඩ නැගුවෝ ඔවුන්ය. අප රටක් ලෙසද ජාතියක් ලෙසද ආඩම්බර වන අතීතයෙන් අප ලද සියල්ල මූලික වශයෙන් සිංහලයන්ගේ උත්සාහයෙන්ද කැපවීමෙන්ද ලබා ගත් දේ වේ. අප රටේ සිංහලයාගේ ඓතිහාසික ආගම බුදු දහමයි. ලෝකයේ පහලවූ ශ්‍රේෂ්ඨතම ආගම් ශාස්තෲවරයෙකු, චින්තකයෙකු හා දාර්ශණිකයෙකු ලෙස ලෝකයා සලකන ගෞතම බුදු හිමියන්ගේ නිර්මල ධර්මය අදටත් පවතින, එම ධර්මය ලේඛණගත කොට ආරක්ෂා කරන රට වශයෙන් මේ රට සැළකෙයි. අප රට අතීතයේ පටන්ම සෞභාග්‍යමත් රටක් විය. එසේම එය යුධමය වශයෙන් ඉතා වැදගත් භූගෝලීය පසුබිමක පිහිටා ඇත. ඇබැවින් අතීතයේ සිටම අප රටට විදේශ ආක්‍රමණ වලින් අඩුවක් නොවීය. ඉන්දියාවෙන් පැමිනි චෝල, කේරල ආදී ජාතීන්ද විවිධ බටහිර ජාතීන්ද අප රට වරින්වර ආක්‍රමණය කළ නමුත් රට මුළුමනින්ම යටත් කරගත හැකිවූයේ වර්ෂ 1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ටය. ඔවුන් වසර සියයකට වැඩි කාලයක් මෙරට පාලනය කරමින් මෙරට සංස්කෘතිකාංගයන්, සිරිත් විරිත් , මිනිසුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ පාලනය පහසු වන පරිදි බොහෝ සෙයින් වෙනස් කළහ. ඒ අතර ඔවුන් මෙරට සම්පත් සියල්ල ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේ රටට ගෙනගියේය. ඒ සියල්ල අවසන් වූ කළ ඔවුන් විසින් සංස්කෘතික වශයෙන්ද, සාමාජීය වශයෙන්ද, ආර්ථික වශයෙන්ද හප කර දමන ලද මේ "රොඩු බිම" ඔවුන්ගෙන් පසුවද ඔවුන් ගෙන ගිය මගේම තව දුරටත් ගෙන යා හැකි බ්‍රිතාන්‍යයේ නොඉපදුනු බ්‍රිතාන්‍යයන් පිරිසකට බාර කර වර්ෂ 1948 දී අපට නිදහස දී නැවත බ්‍රිතාන්‍යය බලා නික්ම ගියා යැයි ඉතිහාසයේ ලියා තැබූහ.

ඒ අපේ අතීත කතාව ඉතා සැකැවින්ය...

නිදහසින් වසර  හැත්තෑවකට පසු රුවන්මැලි සෑය ඉදිකළ, පරාක්‍රම සමුද්‍රය හා කලා වැව ඉදිකල, යෝධ ඇල ඉදිකල, වෙල්ලස්සේ කුඹුරු ලක්ෂයක් අස්වැද්දූ, විදේශ රටවලට සහල් අපනයනය පවා කළ රටක වර්තමාන තත්වය කෙබඳු විය යුතු යැයි අප සිතමුද?

* අප ලෝකයේ දුප්පත් රටවලින් එකක් වෙමු
* සිය දිවි හානි කර ගැනීම් වලින් ලෝකයේ ප්‍රථම ස්ථානය දිනා ඇත්තෙමු
* මත්පැන් පරිබෝජනයෙන් ලෝකයේ පළවන ස්ථානය දිනා ඇත්තෙමු
* අසභ්‍ය අන්තර්ජාල දර්ශණ නැරඹීමෙන්ද අප ප්‍රථම ස්ථානය දිනා ඇත්තෙමු

ඒ අර පෙර කියූ අතීත ශ්‍රී විභූතිය යලි යලිත් සමරන අතරය, තුන් තිස් පැයේ අර කියූ නිර්මල බුදුදහම අදහන අතරය.

කාල් එන්. මැක්ඩැනියෙල් සහ ජෝන් එම්. ගවුඩි විසින් රචනා කල "Paradise for Sale" නම් කෘතියේ පාරාදීසයක් බඳුවූ රටක් විකිණීමට බඳුන් වූ ආකාරය පැහැදිලි කර ඇත. පැසි‍ෆික් සාගරයේ හවායි දූපත් හා ඔස්ට්‍රේලියාව අතර පිහිටා ඇති නාවුරු දිවයින ලෝකයෙන් හුදකලාව පිහිටි රටකි. එහි සම්ප්‍රදායික ජීවිතයක් ගතකළ නාවුරු වැසියන් වසර දෙදහසක් පමණ සංස්කෘතික, සාමාජීය හා පාරිසරික වශයෙන් ස්ථායී වූ රටක සතුටින් ජීවත් වූහ. එහෙත් 1900 වසරේදී කෘෂිකාර්මික වශයෙන් අතිශය වැදගත් ෆොස්පේට් නම් ඛණිජය එරටින් හමුවීම මේ හුදෙකලා රට ලෝක වෙළඳපොලේ මධ්‍යයටම වීසි කර දැමීය. යටත්විජිතවාදී, අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයෝ නාවුරු දිවයිනට කඩා වැදී එහි පැලපදියම් වෙමින් අර කියු එරට සශ්‍රීක පොස්පේට් සම්පත කොල්ල කන්නට පටන් ගත්හ. මේ ක්‍රියාදාමය නාවුරු වැසියන්ගේ සම්ප්‍රදායික ජීවිතය හා ඔවුන්ගේ වටිනාකම් මුළුමනින්ම උඩු යටිකුරු කර විකෘති කර දැමීය. වසර 1968 දී නැවතත් රටේ පාලනය සියතට ගැනීමට සමත් වූ නාවුරු වැසියන් වහාම මුහුණ පෑ බරපතල ප්‍රශ්ණයක් විය. එනම් සිය රටෙහි අනාගතයේ සුරක්ෂිතතාවය උදෙසා රටෙහි වටිනා ස්වභාවික සම්පත් ‍රැකගෙන දිවයිනේ ජෛව හා පාරිසරික සමතුලිතතාවය ‍රැකගන්නවාද නැතහොත් පවතින ක්‍රියාදාමය තුල සිය ගෙවල් දොරවල් පවා විනාශ වී යන ආකාරයෙන් තව වසර හතලිහක් පමණ සඳහා ප්‍රමාණවත් වූ පොස්පේට් නිධිය හාරා විකුණනවාද යන්නයි. ඔවුන් ඉතා අවාසනාවන්ත හා දෛවෝපගත අන්දමින් දෙවැනි විකල්පය ‍තෝරා ගත්හ.

අප රට මුහුන පෑ සිද්ධීන්ද ඊට දෙවැනි නොවේ. අපද නාවුරු වැසියන් මෙන් රටෙහි අනාගතය සඳහා තීරණාත්මක වූ ප්‍රශ්ණයක් අභියස සිටිමු. එය නම් තවදුරටත් අපගේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ වංශය කබල් ගාමින් "ලෝකෙන් උතුම්ම රට මේකය. නිර්මල බුදුදහම පන්දහසක් කල් පවතින රට මේකය" යනාදියෙන් අපිවම රවටා ගනිමින් ඉතිහාසයේ කුණු බක්කිය වෙත ගමන් කරනවාද නැතිනම් පවතින ක‍ටුක යතාර්ථය හැඟීම්බර නොවී තේරුම් ගෙන ඒ සඳහා පිලියම් යොදනවාද යන්නයි.

ඒ සඳහා අප පළමුව දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුය. නූතන තාක්ෂණය හමුවේ ලෝකය කුඩා ගම්මානයක් බවට පත් වෙමින් පවතී යැයි විද්වතුන් ප්‍රකාශ කරයි. එනිසා අපගේ භූගෝලීය පිහිටීම කෙබඳු වුවද අපට තවදුරටත් හුදකලා රටක් ලෙස ඉදිරියට යා නොහැක. එහෙයින් අපට ඇති මූලික අභියෝගය වන්නේ ලෝකය තුල හුදකලා නොවී ඔවුන් සතු දැණුම බෙදාහදා ගන්නා අතරම අපේ සංස්කෘතික වටිනාකම්ද ආරක්ෂාකර ගැනීමයි. එහිදී අප අත් හැරිය යුතු කුමක්ද අප වැළඳගත යුතු කුමක්ද යන්න තීරණය කිරීමේදී රටෙහි දිගුකාලීන යහපත තීරණාත්මක සාධකය යැයි නාවුරු වැසියන් අපට ප්‍රායෝගිකව කියාදී ඇත.

"විකිපීඩියා" හි දූපත් මානසිකත්ව යන්න මෙසේ හඳුන්වා ඇත. "හුදෙකලා ප්‍රජාවන් විසින් ඔවුන් ලෝකයේ අන් සියල්ලන්ටම වඩා සුවිශේෂී හා සුපිරි හැකියාවන්ගෙන් යුතු අය ලෙස සිතා සිටීම වේ" එහි දැක්වෙන පරිදි මෙය භූගෝලීය සාධක මත පමණක් ඇතිවන තත්වයක් නොවේ. සංස්කෘතික, සදාචාරාත්මක හෝ සංකල්පික වශයෙන් ඉහල අගයක පවතින එහෙත් ලෝක ප්‍රජාවට ප්‍රමාණවත් සේ නිරාවරණය නොවුණු හෝ එසේ නිරාවරණය වීම යම් මති මතාන්තර මත සීමාකල හෝ ප්‍රකික්ෂේප කළ ජාතීන් තුල දූපත මානසිකත්වය ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

අද දවසේ අපට ඇති ප්‍රශ්ණ අපට සුවිශේෂී ඒවා යැයි අප සිතා සිටියද එය එසේ නොවේ. සත්‍යය වන්නේ එම ප්‍රශ්ණ වලින්ම පීඩා විඳින තවත් දහස් ගනනක් මිනිසුන් ලෝකයේ කොහේ හෝ ජීවත් වන බවයි. ඇතැමුන් ඒවාට සාර්ථක පිළියම් සොයාගෙන තියෙන්නටද පුළුවන. ඒ මිනිසුන්ට සවන් නොදී ඔවුන්ගේ අත්දැකීම් වලින් ප්‍රයෝජන නොගෙන "රෝදය නැවත සොයාගැනීමේ" නිෂ්ඵල උත්සාහයන්හි යෙදීම කාලය අපතේ යැවීමකි. එය අප වැනි ජාතියකට තරම් නොවේ.


එහෙයින් පළමුව අප කළයුත්තේ අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ප්‍රශ්ණ වලට මුහුණ දෙන පළවන හෝ අවසාන ජාතිය අප නොවන බව තේරුම් ගැනීමය. ඉන්පසු ලෝකයේ වෙනත් ජාතීන් මේ ප්‍රශ්ණ විසඳා ගත්තේ කෙසේදැයි සොයා බැලීමයි ඉන් පාඩම් ඉගෙන ගැනීමයි. ඉන්පසු ඒ පාඩම් අපේ රටට සංස්කෘතියට ගැලපෙන සේ සකසාගෙන ක්‍රියාවට නැගීමයි. ඒ සඳහා අපි ලෝකයට දොරගුළු විවෘත කළයුතු වෙමු. දුපත් මානසිකත්වයෙන් මිදිය යුතු වෙමු. ලෝකය කුහක ලෙස විවේචනය නොකර සිටීමට පුරුදු විය යුතු වෙමු. ලෝකය දෙස සැකෙන් බැලීම නැවැත්වීමට හුරුවිය යුතු වෙමු.

ඒ සඳහා අප මේ පුංචි දූපතෙන් ඔබ්බට ගමන් කළ යුතු වෙමු.

- මංජුල නදීත් ද සිල්වා -

Monday, December 18, 2017







ඇමී ග්‍රැහැම් (Amy Graham)
===================
මුළු රාත්‍රිය පුරාම වොෂින්ටන් සිට කෙරුණු ගුවන් ගමනකින් පසු ඩෙන්වර් හි පිහිටි "මයිල් හයි" දේවස්ථානය වෙත පැමිණෙන විට මා සිටියේ ඉතා විඩාපත්වය.. ඉන් පසු මට තවත් දේශණ තුනක්ද "ඉසුරුමත් මානසිකත්වය" පිළිබඳ වැඩමුළුවක්ද පැවැත්වීමට නියමිතව තිබිණි. මා දේවස්ථානයට ගොඩ වන විටම දොස්තර ෆ්‍රෙඩ් වොට් මෙසේ ඇසුවේය. ඔබ "Make-A-Wish Foundation" ගැන දන්නවද?

"ඔව්" යැයි මම පිළිතුරු දුනිමි.

හොඳයි, ඇමී ග්‍රැහැම් ලියුකේමියා රෝගයේ දරුණුතම අවස්ථාවේ පසුවන බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙණවා. ඔවුන් ඇය ගැන බලාපොරොත්තු තබා ඇත්තේ දින තුනක් පමණයි. ඇගේ අන්තිම කැමැත්ත වන්නේ ඔබේ දේශණයකට සවන්දීමයි. එය ඇසූ මා පුදුමයටත් කම්පනයටත් පත් වුනෙමි. සතුට, බිය හා සැකය යන හැඟීම් වල සංකලනයක් මා සිත තුල ඇති විය. මට එය විශ්වාස කළ නොහැකි විය මා සිතා උන්නේ මිය යෑමට ආසන්න දරුවෝ වඩා කැමැත්තක් දැක්වූයේ ඩිස්නිලන්තයට යෑමට, සිල්වෙස්ටර් ස්ටැලෝන්, මිස්ට "ටී" හෝ ආනෝල්ඩ් ස්වාසෙනෙගර් හමුවීමට කියායි. එහෙත් ඒ කිසිවෙකුට තම අවසන් දින කීපයේ මාක් වික්ටර් හැන්සන් ට ඇහුම්කන් දීමට වුවමනා වේ යැයි කියා මා කිසිදිනක නොසිතුවෙමි. ජීවත් වීමට දින කීපයක් පමණක් ඇති දරුවෙකුට අභිප්‍රේරණ දේශකයෙකුට සවන් දීමට වුවමනා වුනේ මන්ද? හදිසියේම මගේ සිතුවිලි වලට බාධා කරණු ලැබීය.

"මේ ඉන්නෙ ඇමී" ඇගේ දුබල අත මගේ අතෙහි තබමින් වොට් පැවසීය. මා ඉදිරියෙහි වූයේ කිමෝතෙරපි ප්‍රතිකාර මගින් තට්ටය පෑදුනු හිස දීප්තිමත් රතු හා තැඹිලි පැහැති ආවරණයකින් වසා ගත් දාහත් හැවිරිදි ගැහැණු ළමයෙකි. ඇගේ දුබල සිරුර නැමී දුර්වලව පැවතිණ. "මගේ අවසාන අරමුණු දෙක වුනේ උසස් විද්‍යාලයෙන් උපාධිය සමත් වීමත් ඔබේ දේශණයකට සවන් දීමත් පමණයි" ඇය පැවසීය. "නමුත් මගේ වෛද්‍යවරු මට ඒ දෙකටම හැකියාවක් ඇති බව විශ්වාස කළේ නෑ. මට ඒ තරම් ශක්තියක් නැතැයි කියා ඔවුන් හිතනවා. ඒ නිසා මාව රෝහලෙන් මුදා හැරල මගේ දෙමව්පියන්ගෙ භාරයට පත් කළා. මේ ඉන්නෙ මගේ අම්මයි තාත්තයි." මගේ දෑස් කෙවෙණි තුල කඳුලු පිරෙනු මට දැණිනි. මගේ උගුරේ යමක් හිරවුණා සේ මට දැණිනි. මාගේ සමතුලිතතාවය මුළුමනින්ම නැතිවිය. මම මගේ උගුර පාදා මදක් සිනාසී මෙසේ පැවසුවෙමි. "ඔබත් ඔබේ සමීපතමයනුත් අපේ ආගන්තුකයන් වශයෙන් අපි පිළිගන්නවා. මගේ සේවය අවශ්‍ය වීම ගැන ඔබට ස්තූතියි." අප එකිනෙකා වැළඳගෙන කඳුළු පිස දමා ගෙන වෙන් වුනෙමු.

මා ඇමරිකාවේ, කැනඩාවේ, මලයාසියාවේ, නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ සුවකිරීමේ දේශණ ගණනාවකට සහභාගි වී ඇත්තෙමි. විශිෂ්ඨතම සුව කරන්නන්ගේ ක්‍රමවේදයන් මා දැක ඇත්තෙමි. එසේම ඒ ක්‍රම දීර්ඝ වශයෙන් අධ්‍යයනය කොට, පර්යේෂණ කොට, අසා ප්‍රශ්න කොට කුමක් සාර්ථකද, ඒ ඇයි සහ කොහොමද යන වග මා හොඳින් දැන සිටියෙමි. එම ඉරිදා සවස ඇමී සහ ඇගේ මව් පියන් සහභාගී වූ ඒ දේශණය මා පැවැත්වුවෙමි. ශාලාව ඉගෙනීමට හා පුර්ණ මිනිසුන් බවට වර්ධනය වීමට කැමැත්තක් දැක්වු දහස් ගණනක් සහභාගි වන්නන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. ඇතැම්විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ප්‍රයෝජනවත් විය හැකි සුවකිරීමේ ක්‍රියාවලියක් ඉගෙන ගැනීමට කැමතිදැයි මා ඔවුන්ගෙන් නිහතමානීව ඇසුවෙමි. සියල්ලන්ගේම අත් ඉහලට එසවුණු බව වේදිකාවේ සිට මට පෙණිණ. ඔවුන් ඒකච්ඡන්දයෙන් එය ඉගෙනීමට අවශ්‍ය බව කියා සිටියෝය.

මා සහභාගි වන්නන්ට ඔවුන්ගේ දෑත් දැඩි ලෙස එකිනෙක පිරිමැද ඉන්පසු අඟල් කීපයක් ඈත් කිරීමෙන් සුව කිරීමේ ශක්තිය දෑතට දැනෙන අයුරු නිරීක්ෂණය කිරීමට කියා දුණිමි. ඉන්පසු මම ඔවුන් දෙදෙනා බැගින් වෙන්කොට සුවකිරීමේ ශක්තිය එක් අයෙකුගෙන් තවත් අයෙකුට නිකුත් වන ආකාරය දැනෙන අයුරු නිරීක්ෂණය කිරීමට ඉගැන්වීය. "ඔබට සුවවීමට අවශ්‍ය නම් මෙතැන හා මේ මොහොත පිළිගැනීමට සුදානම් වන්න" මා ඔවුන්ට කීවෙමි. සියළු සහභාගිවන්නන් දැන් එකම රිද්මයකට අනුගත වී සිටි අතර එය ඉතා උත්කෘෂ්ඨ හැඟීමක් විය. සියල්ලන්ටම සුවකිරීමේ ශක්තිය හා සුව කිරීමේ විභවයක් ඇති බව මා ඔවුන්ට පැහැදිලි කර දුණිමි. නමුත් සියයට පහක් පමණ වූ අයට මේ ශක්තිය තම දෑත් වලින් වැගිරෙන්නට සැලැස්විය හැකි හා එය තම වෘත්තිය කර ගත හැකි තත්වයේ ඇත. ඉන්පසු මා මෙසේ ප්‍රකාශ කරණ ලදි. "අද උදෑසන මට මට ඇමී ග්‍රැහැම් නම් වූ දාහත් හැවිරිදි ගැහැණු ළමයෙකු හඳුන්වා දුන්නා. 

ඇයගේ අවසාන ඉල්ලිම වුනේ මේ දේශණයට සහභාගි වීම. මට අවශ්‍යයි ඇය මේ වේදිකාවට ගෙනැවිත් ඔබේ සුව කිරිමේ ශක්තිය ඇය මත පතුරුවන්නට..ඇතැම්විට අපට පුළුවන් වෙයි ඇයට උදව් කරන්න. නමුත් ඇය අපෙන් ඉල්ලීමක් කළේ නෑ. මම මෙය කරන්නෙ මේ මොහොතේ මට හිතුන දෙයක් අනුව. මං හිතනව ඒක නිවැරදියි කියල." සහභාගිවන්නන් "ඔව්, ඔව්, ඔව්..යනුවෙන් මතුරන්නට විණ.

ඇමීගේ පියා ඇයව වේදිකාව මතට කැඳවා ගෙන එන ලදි. කිමෝතෙරපි ප්‍රතිකාර වලින් පසු, දැඩි ඇඳ විවේකයන්ගෙන් හා ව්‍යායාම මද වීමෙන් ඇය ඉතාම දුර්වල බවක් ප්‍රදර්ශණය කළාය.(මේ දේශණයට සති දෙකක පමණ පෙර සිට වෛද්‍යවරු ඇයට ඇවිදීමට ඉඩ ලබා දී නොතිබිණි. ) සහභාගිවන්නන් තම දෑත් උනුසුම් කර ඇය වෙත සුව කිරීමේ ශක්තිය නිකුත් කිරීම ඇරඹීය. ඉන්පසු සියළු දෙනා නැගිට සිටිමින් ඇයට ඉතා සහෘද කඳුලින් පිරි සුභ පැතුමක් ලබා දිණි.

සති දෙකකට පසු නෑවත පරීක්ෂාවකින් අනතුරුව ඇගේ වෛද්‍යවරු ඇයව රෝහලෙන් මුදා හැරි බවට ඇය දුරකතනයෙන් දන්වා සිටියාය. දෙවසරකට පසු ඇය නැවත මා ඇමතුවේ ඇයගේ විවාහය ගැන දැනුම් දීමටය.

මා එයින් ඉගෙනගත් එකම දෙය වන්නේ, අපි අපේ සුව කිරීමේ ශක්තිය ගැන කිසිවිටක අඩු තක්සේරු නොකල යුතු බවයි. එය ඉහලම යහපත වෙනුවෙන් භාවිතා කිරීමට නිරන්තරයෙන් පවතී. අපට ඇත්තේ එය අවශ්‍ය වූ විට භාවිතා කිරීමට මතක තබා ගැනීම පමණි.

- Mark Victor Hansen -







මදහස (Le Sourire)
==============
සියල්ලන් වෙත මදහසකින් සංග්‍රහ කරන්න. ඔබේ බිරිඳට, ඔබේ සැමියාට, ඔබේ දරුවන්ට සහ අන් සෑම අයෙකුටම මදහසක් නගන්න. කවුද යන්න වැදගත් නැත. නමුත් එය එකිනෙකා කෙරෙහි වඩා උසස් හැඟීමක් වර්ධනය කර ගැනීමෙහි ලා ඔබට උපකාරී වණු ඇත.

- තෙරේසා මව්තුමිය -


බොහෝ ඇමරිකානුවන්ට Antoine de Saint-Exupery විසින් ලියන ලද පුංචි කුමාරයා (Little Prince) නම් පොත කියවා හුරු පුරුදුය. මෙය අපූරු අදහස් ඇති මාහැඟි පොතක් වන අතර එය කුඩා දරුවන්ගේ කතාන්තර පොතක් ලෙස මෙන්ම වැඩිහිටියන් වෙනස් ආකාරයෙන් සිතන්නට පොළඹවන කල්පිත ග්‍රන්ථයක් ලෙසද සලකණු ලබයි. නමුත් Saint-Exupery ගේ අනෙකුත් නවකතා හා කෙටි කතා ගැන දන්නා අය ඇත්තේ අතළොස්සක් පමණි. Saint-Exupery යුධ ගුවන් නියමුවෙකු වූ අතර දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාවන්ට එරෙහි සටන් වලදී ඔහු මරුමුවට පත් විය. දෙවන ලෝක යුද්ධයට පෙර ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ඔහු ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කළේය. ඒ සටන් වලදී ඔහු ලැබූ අත්දැකීම් අලලා මදහස (Le Sourire) නමින් වූ විශිෂ්ඨ ග්‍රන්ථයක් ඔහු විසින් ලියන ලදි. මා ඔබට කීමට යන්නේ ඒ කතාවේ සංක්ෂිප්තයයි. එහෙත් එය ප්‍රබන්ධයක්ද නැතහොත් ඔහුගේ ස්වයං චරිතාපදනයදැයි පැහැදිලි නැත. මා විශ්වාස කරන්නේ මෙය ඉන් දෙවැන්නට බොහෝ සෙයින් ආසන්න බවයි. කතාවේ දැක්වෙන පරිදි ඔහු වරක් සතුරන්ට හසුවු අතර ඔහුව කුඩා සිර කුටියක සිර කොට තබන ලදි. ජේලර්වරුන්ගෙන් ලද අනදර සහිත රළු සැළකිලි වලින් තමන් ඊලඟ දිනයේදී මරා දමනු ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. මෙතැන් සිට මේ කතාව මා ඔහුගේම වචන වලින් කියන්නට කැමැත්තෙමි.

මට හොඳටම තේරුණා ඔවුන් මා මරා දමන්න යන බව. මා එයින් බලවත් සන්තාපයටත් කම්පනයටත් පත්වුණා. මම මගේ සාක්කු සියල්ල අත පත ගා බැළුවා ඔවුන්ගේ පරීක්ෂාවන්ගෙන් බේරුණු සිගරට්‍ටුවක් සොයා ගන්න පුළුවන්ද කියල. මට එකක් හම්බ වුණා. ඒත් මගේ අත් කොච්චර වෙව්ලුවද කියනවනම් මට ඒක මගේ දෙතොලට තියා ගන්න ලොකු වෙහෙසක් දරන්න වුණා. කොහොම වුණත් මගේ ගිණි පෙට්ටිය මා ලඟ තිබුණේ නෑ ඒක ඔවුන් අරගෙන. මම සිර කුටියෙ යකඩ පොළු අස්සෙන් මගේ ජේලර් දිහා බැළුවා. ඔහු මං ඉන්න පැත්ත වත් බැළුවෙ නෑ. ඇත්තටම කෙනෙක් මොකටද මැරෙන්න ඉන්න මිනිහෙක් දිහා බලන්නෙ? මං ඔහුට කතා කළා "මට ගින්දර ටිකක් දෙන්න පුළුවන්ද" ඔහු දෙවුර හකුලා මං දිහා බැළුවා. ඊට පස්සෙ මගේ සිගරට්‍ටුව දල්වා දීමට ඔහු මා වෙතට ආව. ඔහු මට සමීප වෙලා ගිණිකූරක් දල්වත්දී අහම්බෙන් ඔහුගේ දෑස් මගේ දෑස් හා ගැ‍ටුණා. මං ඒ මොහොතේ ඔහු හා සිනාසුනා. මම දන්නෙ නෑ ඇයි මම එහෙම කළේ කියල. සමහර විට මගේ හිත කැළඹිල තිබුණ නිසා වෙන්න ඇති. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන් කෙනෙක් තව කෙනෙකුට හුඟක් සමීප වුණාම සිනාවක් නොපෙන්වා සිටීම දුෂ්කර දෙයක්. ඒ කොහොම වුනත් මම සිනාසුනා. ඒ මොහොතෙ හරියට පුලිඟුවක් අපි දෙන්නගෙ හදවත් දෙක, අපි දෙන්නගෙ මනුෂ්‍ය ආත්මයන් දෙක හරහා හුවමාරු වුණා වගේ හැඟීමක් මට ඇති වුණා. මම දන්නව ඒක කරන්න ඔහුට වුවමනා වුනේ නැති බව. නමුත් මගේ සිනහව සිරකුටියේ පොළු අතරින් ඔහු වෙත ගිහිල්ල ඔහුගේ දෙතොලෙත් සිනහවක් ඇති කළා කියල මට හිතෙනව. ඔහු මගේ සිගරට්‍ටුව දල්වල දුන්නා. ඒත් ඔහු ආපසු නොයා මොහොතක් මාවෙත ‍රැඳුණා. ඒ වගේම ඔහු ඒ මද සිනහවෙන් යුතුවම මගේ දෑස් දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මාත් ඔහු සමග දිගටම සිනාසුනා ඒ තවදුරටත් ජේලර් කෙනෙක් එක්ක විදියට නෙවෙයි දන්න කියන කෙනෙක් එක්ක වගේ. ඒ වගේම ඔහුගේ බැල්මෙන් දැන් ඔහු මාව දකින්නෙ වෙනස් ආකාරයකට බවත් මට හැඟුණා. " ඔබට දරුවො ඉන්නවද?" ඔහු ඇසුවා. "ඔව්, මේ මේ" මම මගෙ පසුම්බිය ඉවතට ගෙන කැළඹීමෙන් යුතුව අත පත ගෑව මගේ පවුලේ ඡායාරුපය සොයා ගන්නට. ඔහුත් ඔහුගේ පවුලේ අයගේ පින්තූර එලියට අරගෙන මට පෙන්නුවා. දරුවන් ගැන ඔහුගේ අනාගත සැලසුම් හා
බලාපොරොත්තු ගැන මා සමග කතා කළා. මගේ දෑස් වල කඳුළු පිරුණා. මං කිව්ව මට ආයෙත් මගේ දරුවන් දකින්න ලැබේවි කියල මම හිතන්නෙ නැති බව. මට ආයෙත් අවස්ථාවක් ලැබෙන එකක් නෑ ඔවුන් ලොකු මහත් වෙන හැටි බලන්න. ඔහුගේ දෑස් වලිනුත් කඳුළු වැටෙන්න ගත්ත. හදිසියෙම තවත් එක් වචනයක් වත් නොකියා ඔහු එක් වරම සිර කුටියෙ දොර ඇරල මාව එලියට ගත්තා. ඉන්පසු නිශ්ශබ්දව හොර පාරකින් මාව නගරයෙන් පිටතට අරගෙන ගියා. නගරයේ සීමාවෙදි ඔහු මට යන්න ඉඩ දීල කිසිම වචනයක් නොකියා ආපසු හැරී යන්න ගියා.

සිනහවක් මගේ ජීවිතය බේරල දුන්නෙ ඒ විදියට.

සත්තකින්ම ඔව්, සිනහව කියන්නෙ මිනිසුන් අතර බලපෑමකින් පුර්ව සුදානමකින් තොරව ස්වභාවිකව ඇතිවන සම්බන්ධතාවයක්. මේ කතාව මම මගේ පොතේ සඳහන් කරන්න හිතුවෙ, මිනිසුන්ට මෙන්න මේ කාරණේ ගැණ ගැඹුරින් සලකා බලන්න කියා ඉල්ලන්න. ඒ තමයි, අපි අපේ ආරක්ෂාවට අපි වටා ස්ථර කීපයකින් සමන්විත ආවරණයක් ගොඩනගා ගෙන තියෙනවා. මේ ස්ථර තමයි, අපේ ගෞරවය, අපේ තනතුරු, අපේ සුදුසුකම්, අපේ තත්වය හා සමාජය අපිව දැකිය යුතු යැයි අපට වුවමනා කරන ආකාරය. නමුත් මේ සියල්ලටම යටින් තියෙනව අපේ සැබෑ ස්වරූපය. ඒ අපේ ආත්මය ලෙස හඳුන්වන්න මම බිය වෙන්නෙ නෑ. අපේ මේ ඇතුලාන්තයේ වූ කොටසට අප එකිනෙකා පහසුවෙන් හඳුනාගත හැකි බව මා තරයේ විශ්වාස කරනවා. අපට එසේ අප එකිනෙකාගේ ඇතුලාන්තයෙහි වූ මේ කොටස සමග සෘජුව ගණුදෙනු කළ හැකි නම් සතුරුකම්, ඊර්ෂ්‍යාව හෝ බිය කිසිදා ඇති නොවනු ඇත. නමුත් අවාසනාවකට මෙන් අප ජීවිත කාලය තුල බොහෝ ප්‍රවේශමෙන් ගොඩ නගා ගන්න ඉහත කී මතුපිට ආවරණයන් අප එකිනෙකා සමග අව්‍යාජ සම්බන්ධතවන් ඇති කර ගැනීම වලක්වන පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. Saint-Exupery ගේ කතාවේ සඳහන් වන්නේ දෙදෙනෙකුගේ ආත්මයන් එකිනෙකා හඳුනාගන්නා එවැනි දිව්‍යමය අවස්ථාවක් ගැන. ඒ වගේ තවත් අවස්තා කීපයක් ගැන මට කියන්න පුළුවන්. එකක් තමයි දෙදෙනෙකු ආදරයෙන් බැඳීම. තවත් එකක් තමයි කුඩා දරුවෙකු දෙස බැලීම. ඇයි අපි කුඩා දරුවෙක් දිහා බලල හැම තිස්සෙම හිනා වෙන්නෙ? ඒ සමහර විට අපි ඔහු තුලින් සියළු "ආරක්ෂක ආවරණ" නැති කෙනෙකු දකින නිසා වෙන්න ඇති. ඔහුගේ සිනහව අව්‍යාජ බව හා ‍රැවටීමකින් තොර බව අපි දන්න නිසා වෙන්න ඇති. එවිට අපි තුල ඉන්න "ලදරු ආත්මය" එය හඳුනගෙන සිනාසෙනවා වෙන්න ඇති.

- Hanoch MaCarty -







ස්වර්ණමය බුදුන්
===========
1988 වසර මුලදී මටත් මගේ බිරිඳ ජෝර්ජියාටත් හොංකොංහි පෑවති සම්මන්ත්‍රණයක "ස්වයං අභිමානය හා උසස් කාර්යඵල" යන මැයෙන් දේශනයක් පැවැත්වීමට ආරාධනාවක් ලැබිණි. අප කිසි දිනක ඈත පෙරදිග රටවල චාරිකාවේ යෙදී නැති බැවින් අපේ නිල සංචාරය තායිලන්තය දක්වා දීර්ඝ කිරීමට අප තීරණය කළෙමු. අප බැංකොක් කරා පැමිණි පසු ඉතා ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන කීපයක් දැක බලා ගැනීමට අපට සිත් විය. අපේ පරිවර්තකයාගේත් රියැදුරාගේත් මග පෙන්වීම මත බෞද්ධ විහාර ගණනාවක්ම දැක බලා ගැනීමට එම දිනයේදී අපට හැකිවූ නමුත් ඒ බොහෝමයක් අපේ මතකයන් තුල වැඩි වේලාවක් ‍රැඳී තිබුණාද යන්න සැකයකි. කෙසේ වුවද අප සිත් තුල නොමැකෙන මතකයන් ඉතිරි කළ එක් බෞද්ධ විහාරයක් විය. එය හැඳින්වූයේ "ස්වර්ණමය බුදුන්ගේ විහාරය" යන නමිනි. ඇත්තෙන්ම එය ඉතා කුඩා පන්සලකි. බොහෝ විට අඩි තිහයි තිහක පමණ වර්ග ප්‍රමාණයකින් යුතු වන්නට ඇත. නමුත් අප එහි ඇතුළු වූ කෙනෙහි එතුල පිහිටි අඩි දහයමාරක් උස දඹ රනින් නිමවූ බුදු පිලිමය දැකීමෙන් අප විශ්මයෙන් ගල් ගැසුනෙමු. එහි බර ටොන් දෙකහමාරක්ද දල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අනූ හයක්ද විණි. එය ඉතා අලංකාර දසුනක් විය. කාරුණික මෘදු පෙනුමකින් යුතු බුද්ධ ප්‍රතිමාව අප දෙස මදහසකින් යුතුව පහතට නෙත් යොමා සිටියෝය. අපගේ සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර එනම් ඡායාරූප ගැනීම් විශ්මයෙන් හායි හූයි ගෑම් සියල්ලෙන් අනතුරුව, මා ඒ අසල වීදුරු ආවරණයක් තුල තබා තිබූ මැටි පිඩැල්ලක් බැලීමට ගියෙමි. ඒ මැටි පිඩැල්ල අඟල් අටක පමණ ඝණකමකින්ද, අඟල් දොළසක පමණ පළලකින්ද යුතු විය. ඒ වීදුරු ආවරණය පසෙකින් මේ අගනා කලා කෘතියේ ඉතිහාසය විස්තර කළ කුඩා පුවරුවක් තබා තිබිණ.

1957 දී පමණ කිසියම් ආශ්‍රමයක වූ භික්ෂූන් වහන්සේලා පිරිසකට මැටියෙන් තැනූ බුද්ධ ප්‍රතිමාවක් තම පෑරණි වාස්ස්ථානයෙන් වෙනත් පන්සලකට ගෙන යාමට වුවමනා වී තිබිණි. එම භික්ෂූන් විසූ ආශ්‍රමය බැංකොක් කරා දිවෙන අධිවේගී මාර්ගයක මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා ඉවත් කිරීමට සිදුව තිබිණ.දොඹකරය මගින් මේ විශාල ප්‍රතිමාව එසවීමේදී ප්‍රතිමාව ඉරිතැලීමකට ලක් විය. ඒ අතර වර්ෂාවක්ද ඇද හැලෙන්නට විණ. ආශ්‍රමයේ සිටි නායක හිමි නම ප්‍රතිමාව නෑවත පොළවට පහත් කොට වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට එය ආවරණයකින් වැසීමට තීරණය කළේය. එදින සවස් කාලයේ නායක හිමි නම බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට නෑවත පැමිණියේය. උන් වහන්සේ විදුලි පන්දමක් දල්වා ආවරණයට යටින් වූ බුද්ධ ප්‍රතිමාව පරීක්ෂා කලේ 

මැටියෙන් තැනූ එයට වර්ෂාවෙන් හානියක් වී ඇත්දැයි දැණ ගැනීමටය. විදුලි පන්දම් ආලෝකය පිලිමයේ ඉරිතැලුණු තැනට එල්ල වූ කෙනෙහි, එහි යම් දීප්තිමත් දිස්නයක් උන්වහන්සේට නිරීක්ෂනය විය. එය අමුතු දෙයක් වූයෙන් ඒ පිළිබඳ තවදුරටත් විපරම් කල නායක හිමියෝ මේ මැටි වලට යටින් තවත් යම් දෙයක් ඇත්දැයි සැක පහල කළහ. ඒ සැකය අනුව ක්‍රියාත්මක වූ හිමියන් ආශ්‍රමයෙන් නියනක් හ මිටියක් ‍රැගෙන නැවත පැමිණ පිළිමයේ දීප්තිය විහිදුවන ස්ථානයේ වූ මැටි ස්වල්පය බැගින් කඩා ඉවත් කරන්නට විණි. එසේ මැටි ඉවත් කරන විට එම දීප්තිමත් ආලෝකය විශාල වන්නටද වඩා දීප්තිමත් වන්නටද විය. පෑය කීපයක වෙහෙසකර කාර්යයකින් පසු නායක හිමියන් සිටියේ සුවිශේෂී දඹරන් බුදු පිලිමයක් අභියසය.

ඉතිහාසඥයන් විශ්වාස කරන පරිදි මේ නායක හිමියන්ගේ සොයාගැනීමට සියවස් කීපයකට පෙර බුරුම හමුදාවන් එවකට සියම නමින් හැඳින්වූ තායිලන්තය ආක්‍රමණය කිරීමේ සුදානමක් විණි. සිය දේශය නුදුරේදීම ප්‍රහාරයකට ලක්වන බව තේරුම්ගත් සියම් භික්ෂූහු ඔවුන්ගේ වටිනාම සම්පත බුරුම ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කරගනු වස් ඉහත කී දඹරන් බුදු පිළිමය මැටියෙන් ආවරණය කළෝය. නමුත් අවාසනාවකට මෙන් මේ රහස දැන සිටි භික්ෂූන් වහන්සේලා සියල්ලම බුරුම හමුදාවන්ගේ ප්‍රහාරයන්ගෙන් මරුමුවට පත් විය. කෙසේ වුවද දඹරන් බුද්ධ ප්‍රතිමා වහන්සේ 1957 වසරේ අප ඉහත කී පරිදි සොයා ගන්නා තෙක් මනා ලෙස ආරක්ෂා වී තිබිණ.

අප "කැතී ෆැසිපික්" ගුවන් යානයකින් ආපසු නිවෙස බලා එමින් සිටියදී මට මෙවන් සිතුවිල්ලක් පහල විය. " අපි හැම කෙනෙක්ම අර මැටියෙන් තැනූ බුදු පිලිමය වැනි අය වෙමු. එනම් අප සියල්ලන්ම භය හා සැකය නමැති දැඩි ආවරණයකින් වසා සිටින "දඹ රන් බුදු පිලිම" වෙමු. යටින් පිහිටි දඹ රන් පිළිමය අප ඉපදෙන විට අපේ යථා ස්වරූපයයි. වයස අවුරුදු දෙකත් නමයත් අතර කාළයේ අපි අපේ "ස්වර්ණමය ස්වභාවය" අපේ "සමාජ ගති ලක්ෂණ" නමැති මැටියෙන් ආවරණය කර ගැනීම අරඹමු. නායක හිමියන් සිය නියන හා මිටිය භාවිතා කර සිදු කළා සේ දැන් අපගේ කාර්යය වන්නේ අපේ සැබෑ ස්වරූපය නෑවත එලියට ගැනීමයි"

හොඳයි, ඔබ මගේ කතාව ඇසුවා.....මෙයයි මට ඔබහට කීමට ඇති රහස.එය ඉතා සරලයි. කෙනෙකුට නිවැරදිව දැකීමට හැක්කේ හදවතින් පමණයි. දැකීමට ඉතාම අත්‍යාවශ්‍ය දේ බොහෝ විට ඇසට ගෝචර නොවේ.

- Jack Canfield -








ඕනෑම අයෙකුට ශ්‍රේෂ්ඨයෙකු විය හැකියි.
==========================
එක් දිනක මාක් පාසල ඇරී තම නිවෙස බලා යමින් සිටියදී ඔහුට තරමක් ඉදිරියෙන් ගමන් කල තවත් ළමයෙකු පය පැකිලී ඇදවැටෙනුද ඔහු ඔසවා ගෙන යමින් සිටි විශාල පොත් ගොන්න සී සී කඩ විසිරෙනුද ඔහු දු‍ටුවේය. පොත් පත් වලට අමතරව ඒ ළමයා ‍රැගෙන ගිය පොදියේ ස්වීටර දෙකක්ද, බේස් බෝල පිත්තක් හා අත්මේස් යුවලක්ද ටේප් රෙකෝඩරයක්ද විය. වහා එතැනට ගිය මාක් දණගසා ගෙන විසිරී ගිය පොත් පත් එකතු කර ගැනීමට ඔහුට උදව් විය. එමෙන්ම මාක්ද ගමන් කරමින් සිටියේ අනෙක් ළමයා යමින් සිටි දෙසටම බැවින් ඔහුගේ විශාල පොත් ගොන්නෙන් කොටසක් ඔසවා ගෙන යෑමටද මාක් ඉදිරිපත් විය. දෙදෙනා කතා බහ කරමින් යන අතර ළමයාගේ නම බිල් බවද ඔහු වීඩියෝ ක්‍රීඩාවන්ට, බේස් බෝල් ක්‍රීඩාවට හා ඉතිහාසයට දැඩි කැමැත්තක් දක්වන බවද, ඒ අන් කිසිවක් නිසා නොව ඔහු අනෙක් විෂයන්ට ඉතා දුර්වල නිසා බවද මාක් දැන ගත්තේය. එසේම බිල් තම යෙහෙලියගෙන් දින කීපයකට පෙර වෙන් වී ඇති බවද මාක් දැණ ගති.

දෙදෙනාම කතා කරමින් බිල්ගේ නිවස අසලට පැමිණුනු විට යමක් කා බී ටික වෙලාවක් රූපවාහිනිය නැරඹීමට මාක් හට ආරාධනාවක් ලැබිණි. ඒ සවස් කාලය දෙදෙනා සිනා සෙමින් සිය අත්දැකීම් එකිනෙකා හා බෙදා ගනිමින් සතුටින් ගත කළේය. ඉන්පසු මාක් නිවෙස බලා පිටත් විය. ඉන්පසු මිතුරන් දෙදෙනා පාසලේදී බොහෝ විට එකිනෙකා හමුවූ අතර වරක් දෙවරක් එක්ව දිවා ආහාරය ගැනීමටද ගියේය. ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය අවසන් කළ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා එකම විදුහලකට ඇතුලත් වුවද ඔවුන් එකිනෙකා හමුවීමට ඉඩ ලැබුනේ ඉතා කලාතුරකිනි. අවසානයේ උසස් අධ්‍යාපනයේද අවසන් වසරට ඔවුන් පැමිණ තිබිණ. උපාධි ප්‍රධානෝත්සව දිනට සති තුනකට පමණ කලින් තමන්ට ඔහු හමුවී මදක් කතා කිරීමට හැකි දැයි අසා මාක්ට බිල්ගෙන් පණිවිඩයක් ලැබිණි.

වසර ගණනාවකට පෙර දෙදෙනා මුලින්ම හමුවූ අවස්ථාව බිල් මතක් කළේය. "ඔයාට පුදුම හිතෙන්න ඇති මම මොකටද ඔච්චර පොත් කන්දරාවක් ගෙදර උස්සගෙන ගියේ කියල..නේද?" බිල් ඇසුවේය. "ඔයා දන්නවද, මම පාසලේ මගේ කබඩ් එක අස්කරල ඒකෙ තිබුන හැමදේම තමයි එදා ඒ අරන් ගියේ. මොකද මට වුවමනා වුණේ නෑ මගේ කුණු ගොඩවල් තව කෙනෙකුට අස් කරන්න ඉඩ තියන්න. මම කලින්ම අපේ අම්මගෙ නිදි පෙති වගයක් ගෙදර හංගල තිබ්බෙ. මම එදා ගෙදර ගියේ ජීවිතේ නැති කර ගන්න. ඒත් අපි මුණ ගැහිල කතා බහ කරමින්, සිනා සෙමින් පැය කීපයක් ගත කරාට පස්සෙ මට තේරුම් ගියා මම ජීවිතේ නැති කරගත්ත නම් මට ඒ ප්‍රීතිමත් හමුවීමත් ඊට පසුව එළඹෙන්නට ඉඩ තිබුණු තවත් ප්‍රීතිමත් දිනයනුත් මග හැරෙන්නට තිබුණු බව. ඉතිං මාක් ඔයාට පේනවද, එදා මගේ පොත් අහුලල දීපු වෙලාවෙ ඔයා කළේ පොත් අහුලනවට වඩා හුඟක් ලොකු දෙයක්. ඔයා මගේ ජීවිතේ බේරුවා"

- John W. Schlatter -


"සෑම අයකුටම ශ්‍රේෂ්ඨයෙකු විය හැකියි. මක් නිසාද සෑම අයෙකුටම තවෙකෙකුට යම් සේවයක් කිරීමේ අවස්ථාව පවතින බැවිනි. එසේ යමෙකුට සේවයක් කිරීමට ඔබට උපාධියක් හෝ නිසි අවස්ථාව එනතුරු කල් බැලීමක් හෝ අවැසි නැත. ඔබට ඊට අවශ්‍ය වන්නේ කාරුණික හදවතක් සහ ආදරය ‍රැඳි ආත්මයක් පමණි"

- මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) -






ත‍ටු ඇවිල්ලා.... ඔබ ඔහේ යනවා
=====================
ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද ඓතිහාසිකව හා සම්ප්‍රදායිකව "පුරුෂ කේන්ද්‍රීය" සමාජයකි. වර්තමාන බටහිර ප්‍රවනතාවයන් අනුකරණය කිරීමේ "විලාසිතාව" නිසා මේ තත්වය වෙනස් වෙමින් පෑවතියද එය අප සමාජයේ ජන විඥාණයේ පතුලටම මුල් ඇදුණු සංකල්පයකි. එහෙයින් වර්තමාන කාන්තාව කෙරෙහි මේ පුරුෂ කේන්ද්‍රීය සම්ප්‍රදායට අභියෝග කිරීමේ හා අභියෝගයක් වීමේ ආශාවක් ඇතිවීම ආකස්මික දෙයක් සේ හැඳින්විය නොහැක. නමුත් ප්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ.

මිනිස් හැසිරීම් වල වූ කුඩා පළුද්දක් පවා මුදල් බවට පෙරෙලීමේ මනා දැණුමක් හා පරිචයක් ඇති, කාල් මාක්ස්ට පවා පෙර දැකීමට නොහැකි වූ, නිර්ධන පංතියේ ශ්‍රමය ධනපති පංතියට විකුණා දැමීමේ බ්‍රෝකර්වරු වශයෙන් ක්‍රියා කරන "විධායක පංතිය" කාන්තාව සතු මේ දුර්වලතාවයෙන් වර්තමානයේ දැඩි සේ ප්‍රයෝජන ගැනීමය.

පුරුෂ කේන්ද්‍රීය සමාජයට අභියෝගයක් වීම නම් වූ "කැරට් අලය" පෙන්වූ විට බොහෝ කාන්තාවන් තරණය නොකරන කඳු මුදුනක් නැත. මෙය හොඳින් දන්නා විධායක පංතිය කාන්තාවන්ට උසස් වීම් හා තනතුරු ලබා දීමෙන් "පිරිමියා අභිබවා යාමේ ප්‍රහර්ෂය" ඇයට ලබා දී ඒ වෙනුවෙන් පිරිමින් දෙදෙනෙකු අවශ්‍ය වන තරමේ වැඩ ප්‍රමාණයක් ඇයගෙන් කරවා ගැනීමට සමත් වී තිබේ.

පුරුෂ කේන්ද්‍රීය සමාජයට අභියෝගයක් වීම එකකි. එහෙත් එසේ අභියෝගයක් වීම වෙනුවෙන් තමන් සූරා කෑමට ඉඩ දීම තවත් එකකි. මේ ක්‍රියාවලිය තුලින් අප සමාජය ගෙනයන ගමනාන්තය ගැන කීමට තවම කල් වැඩිය එහෙත් එය "සියල්ල සතුටින් අවසන් වන" සුඛාන්තයක් නොවන බව නම් නිසැකය.

මේ කාරණය ගැන ලියන විට නිතැතින්ම මතකයට ආ අමරසිරි පීරිස් කළාකරුවාගේ පහත දැක්වෙන ගීයෙන් මේ සටහන අවසන් කරමි
ත‍ටු ඇවිල්ලා, ඔබ ඔහේ යනවා
කොහොම කීවත් නවත්තන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ
කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැළෙනා
ඉවුරු පිරෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල් හීන පොළොව දිගේ
නෙළූ ඵලවැල මග දමන්නද
දෙපා උඩුකුරු ලෙසින් බිම හිඳිනා
කුරුළු බිළිඳූ හෙලන කඳුළූ
මහ මෙරක් යට තනිව මා උන්නා








එක්තරා මහාචාර්යවරයෙකු බැල්ටිමෝරයේ කුඩා පැල්පත් වල වාසය කළ තරුණ පිරිමි ළමුන් දෙසීයක් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට තම සමාජ විද්‍යා පංතියේ සිසුන්ව යැවීය. ඔවුන්ට උපදෙස් ලැබුණේ; ඒ සෑම පිරිමි දරුවෙකුම තම අනාගතය ගැන දරන තක්සේරුව ඔවුන්ගෙන් ප්‍රශ්ණ කොට වාර්තා කරගන්නා ලෙසයි. සමීක්ෂණයේ යෙදුනු සියල්ලන් හට එක් පොදු නිරීක්ෂණයක් විය. එනම් ඒ සෑම පිරිමි දරුවෙකු හටම "නිසි අවස්ථාවක්" ලැබී නොමැති බවයි.

ඉන් වසර විසි පහකට පසු තවත් සමාජ විද්‍යා මහාචාර්යවරයෙකුට මේ සමීක්ෂණ වාර්තාව අහම්බෙන් ලැබුනෙන් ඒ පිරිමි දරුවන්ගේ වර්තමාන තත්වය දැන ගැනීමේ ආශාවක් ඔහුට ඇතිවිය. ඒ සඳහා බැල්ටිමෝරයට යවනු ලැබූ මහාචාර්යවරයාගේ සිසුන් පිරිස කියා සිටියේ අදාල දරුවන්ගෙන් 20 ක් පමණ එක්කෝ මියගොස් නැත්නම් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති නමුත් ඉතිරි 180 දෙනා වාසනාවකට මෙන් එම ප්‍රදේශයේම ජීවත් වන බවයි. එමෙන්ම එම සිසු පිරිස තවත් විශ්මිත දෙයක් මහාචාර්යවරයාට වාර්තා කළේය. ඒ එම ඉතිරි පිරිමි දරුවන් 180 දෙනාගෙන් 176 ක් ම වෛද්‍යවරුන්, නීතීඥයන් හා ව්‍යාපාරිකයන් වශයෙන් සාමාන්‍ය තත්වයටත් වඩා ඉහල සාර්ථකත්වයන් ලබා ඇති බවයි.

මෙයින් විශ්මයට පත් මහාචාර්යවරයා වාසනාවකට මෙන් තවමත් බැල්ටිමෝරයේ ජීවත් වූ දැන් වැඩිහිටියන් වන ඒ දරුවන් සෑම කෙනෙකුම මුණගැසී ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුව විමසුවේය. සෑම අයෙකුම ඒ ප්‍රශ්ණයට ඉතා හැඟුම්බරව මේ පිළිතුර ලබා දිණි "අපිට ටීචර් කෙනෙක් හිටියා" සියල්ලන්ට එම ගුරුවරියව මතක තිබිණ.

ගුරුතුමියත් ඒ වන විට වයස්ගත විය. ඇය හමුවූ මහාචාර්යවරයා පැල්පත් වල ජීවත් වූ ඒ දරුවන් ඔවුන්ගේ වර්තමාන සාර්ථකත්වයන් වෙත යොමු කිරීමට භාවිතා කළ "විජ්ජා මන්තරය" කුමක්දැයි අසා සිටියේය. ගුරුතුමියගේ දෑස් ආලෝකමත් වූ අතර, දෙතොලේ මදහසක් නැගින. ඇය මෙසේ පිලිතුරු දිණි. "ඒක හරිම සරලයි. මම ඒ දරුවන්ට ආදරය දුන්නා"
- Eric Butterworth -






තෑග්ග
====
දකුණු ප්‍රදේශයේ මාවතක නිරතුරුව ඉහලට විසිවෙමින් ගමන් කළ බස් රථයක එක් අසුනක වාඩිවී සිටි වයෝවෘධ මිනිසෙකුගේ අතෙහි නැවුම් මල් කළඹක් විය. ඔහුගේ අසුනට යාබද අසුනක සිටි තරුණියගේ දෑස් විටින් විට මේ මල් කළඹ දෙස යොමු වූයේ නිතැතිනි. මහළු මිනිසා බස් රථයෙන් බසින තැන කෙමෙන් ලඟාවිය. ඔහු බැසීමට සූදානම් වෙමින් තමන් අත තිබූ මල් කළඹ තරුණියගේ උකුල මතට දැමීය. "මම දු‍ටුවා ඔබ මල් වලට ගොඩක් කැමති බව". මහළු මිනිසා පැවසීය. "ඉතිං මගේ බිරිඳ කැමති වේවි මේ මල් ටික මම ඔබට දෙනවට. මම ඇයට කියන්නම් ඒ මල් ටික ඔබට දුන් බව". තරුණිය මහත් සතුටින් ඒ මල් කළඹ බාර ගත්තීය. ඉන්පසු ඇය බලා සිටියදී ඒ මහළු මිනිසා බස් රථයෙන් බැස කුඩා සුසාන භූමියක දොර‍ටුව තුලින් ඇතුලට ගමන් කලේය.







ඔබේ දායකත්වය ප්‍රමාණවත්ය
====================
අපේ මිත්‍රයෙක් දිනක් ඉර බෑස යන යාමයේ පාළු මෙක්සිකානු වෙරළක් දිගේ ගමන් කරමින් සිටියා. ඔහු එසේ ගමන් කරමින් සිටින අතරේ ඉතා ඇත සිටින තවත් මිනිසෙක් ඔහුට දකින්නට ලැබුණා. තවත් ටිකක් ලංවන විට ඔහු දු‍ටුවා ඒ ස්වජාතික මිනිසා කිසියම් දෙයක් අහුලා මුහුදට විසිකරන බව. ඔහු මෙය නැවත නැවතත් සිදු කරන බව අප මිත්‍රයාට පෙණුනා.

අපේ මිත්‍රයා තවත් ඔහුට ලං වන විට ඔහු දු‍ටුවා ඒ මිනිසා මුහුදු ‍රැල්ලත් සමග වෙරළට ගොඩ ගැසූ පසැඟිල්ලන් වරකට එකා බැගින් අහුලමින් මුහුදට විසි කරන බව. මෙයින් වික්ෂිප්ත වූ අපේ මිත්‍රයා අර මිනිසා අසලට ගොස් මෙසේ පැවසුවා. " සුභ සැන්දෑවක් මිත්‍රයා, මට හිතාගන්න අමාරුයි ඔබ මොනවද කරන්නෙ කියල?"

" මම මේ පසැඟිල්ලන් නැවත මුහුදට විසි කරනවා. ඔබට පේනව ඇති මේ බාදිය පවතින වෙලාව. ඉතිං මේ ‍රැල්ලත් එක්ක වෙරළට ගොඩ ගහපු පසැඟිල්ලන් ආයෙත් මුහුදට නොදැම්මොත් උන් ඔක්සිජන් නැති කමින් ටික වෙලාවකින්ම මැරිල යයි"

"මට තේරෙනව" අප මිත්‍රයා පිළිතුරු දිණ. "නමුත් මේ වෙරළෙ ඔය වගේ පසැඟිල්ලො දහස් ගානක් ඇති මං හිතන්නෙ නෑ ඔබට පුළුවන් වෙයි කියල උන් ඔක්කොම අල්ලල මුහුදට දාන්න. උන් ගොඩක් ඉන්නව. අනිත් එක ඔබට හිතෙන්නෙ නැත්ද මේක මෙහේ මුහුදු වෙරළවල් සිය ගනනක සිද්ධවෙන දෙයක් බව. ඔබට පෙනෙන්නෙ නැත්ද ඔබට උන්ගෙ ජීවිත සම්බන්ධයෙන් කිසි වෙනසක් කරන්න බැරි බව."

ස්වජාතික මිනිසා මදහසක් නැගීය. ඉන්පසු පහත් වී තවත් පසැඟිල්ලෙකු අතට ගෙන මුහුදට විසි කරන අතර මෙසේ පැවසුවේය. " ඔන්න මම එකෙකුගෙ ජීවිතේ වෙනසක් ඇති කළා"

"Chicken Soup for the Soul"
- Jack Canfield and Mark V. Hansen -

P.S.
ලෝකයේ සියළු දෙනාටම "සාධාරණ ලෝකයක්" තනා දීමට ඔබට නොහැකි විය හැක. එහෙත්. ඔබට හැකි පමණ ඔබේ යුතුකම ඉ‍ටු කරන්න. එහි සාමුහික ප්‍රථිපළය තුලින් ඔබ පතන "සාධාරණ ලෝකය" නිර්මාණය වණු ඇත.

ජීවිතය නම් වූ කෝපි බඳුන
++++++++++++++++++
සිය වෘත්තියන්හි ඉහලටම ගිය යහළුවන් පිරිසක් කලකට පසු සිය පැරණි ගුරුවරයෙකු වු විශ්ව විද්‍යාල මහචාර්යවරයෙකු හමුවීමට ගියහ. සතු‍ටු සාමීචි කතාවන් කෙළවර සියල්ලන්ගේ මාතෘකාව වූයේ ජීවිතයේ ප්‍රශ්ණ, වෙහෙස, දුෂ්කරතා හා මානසික ආතතියයි. කතා බහ යන අතරතුර සිය පැරණි ගෝලයන්ට සංග්‍රහයක් කිරීමට සිතූ මහාචාර්ය තුමා මුළුතැන්ගෙට ගොස් නැවත පැමිණියේ කෝපි පෝච්චියක්ද බන්දේසියක් මත තැබූ විවිධාකරයේ කෝප්ප රාශියක්ද ඇතුවය.

ඇතැම් කෝප්ප ඉතා අලංකාර හා මිල අධික වූ අතර ඇතැම් ඒවා වර්ණවත්ද, ඇතැම් ඒවා චාම් වර්ණයෙන්ද යුතු විය. ඇතැම් කෝප්ප පිඟන් මැටියෙන්ද ඇතැම් ඒවා ප්ලාස්ටික්, වීදුරු හෝ පලිඟු වලින්ද සදා තිබිණ. මහාචාර්ය තුමා සිය පැරණි සිසුන්ට කෝපි පානය කිරීමට ආරාධනා කලේය. සියල්ලන් කෝප්ප වලට කෝපි වත් කරගත් පසු මහාචාර්ය තුමා කතා කරන්නට පටන් ගත්තේය.

"දැන් බලන්න දරුවනේ ඔය ගොල්ලන්ට පේනව ඇති හැමෝම අලංකාර සහ මිල අධික කෝප්ප තමයි අරගෙන තියෙන්නෙ. අනෙක් ලාබ එතරම් පෙනුම නැති කෝප්ප බන්දේසියෙ ඉතුරු වෙලා තියෙනව. ඔයාල හැමෝටම ජීවිතේ හොඳම දේවල් වුවමනා වීම පුදුමයක් නෙවෙයි. නමුත් ඒකම තමයි මේ හැම කරදරයකම හැම මානසික ආතතියකම මුල.
කෝප්පයෙන් කෝපි වල රසයට අලුතින් කිසිවක්ම එකතු වෙන්නෙ නෑ. ඒ වගේම සමහර අවස්ථාවලදි කෝප්පය කෝපි වලට වැඩිය ඉතා මිල අධික වනවා විතරක් නෙවෙයි අපි බොන්නෙ මොනවද කියල හොයා ගන්න බැරි තත්වයටත් පත් කරනව. ඔබට ඇත්තටම බීමට අවශ්‍ය කෝපි මිසක් කෝප්පය නොවෙයි නේද? නමුත් ඔබ හිතා මතාම ‍තෝර ගත්තෙ හොඳම කෝප්පෙයි. ඒ වගේම ඔබ අන් අයගෙ කෝප්ප දිහා හොරෙන් බලනවත් මම දු‍ටුවා.

හිතන්න, ජීවිතේ කියල කියන්නෙත් හරියටම මේ කෝපි වගේ. කෝප්පෙ තමයි ඔබේ ‍රැකියාව, තනතුර සහ සමාජ තත්වය යනාදිය. නමුත් ඒවා ජීවිතය රඳවා ගෙන සිටින උපකරණ මිස ජීවිතය නොවේ. "කෝප්පයේ" වර්ගය කිසිදා ඔබේ ජීවිතයේ තත්වය ඉහල නංවන්නේ නැහැ. සමහර විට අපි කෝප්පය ගැනම අවධානය යොමු කිරීමෙන් ජීවිතයේ සතුට විඳ ගැනීමට අපොහොසත් වෙනව. ඒ නිසා කෝප්පය නොවෙයි ජීවිතය විඳින්නට පුරුදු වෙන්න"