ඕනෑම අයෙකුට ශ්‍රේෂ්ඨයෙකු විය හැකියි.
==========================
==========================
එක් දිනක මාක් පාසල ඇරී තම නිවෙස බලා යමින් සිටියදී ඔහුට තරමක් ඉදිරියෙන් ගමන් කල තවත් ළමයෙකු පය පැකිලී ඇදවැටෙනුද ඔහු ඔසවා ගෙන යමින් සිටි විශාල පොත් ගොන්න සී සී කඩ විසිරෙනුද ඔහු දුටුවේය. පොත් පත් වලට අමතරව ඒ ළමයා රැගෙන ගිය පොදියේ ස්වීටර දෙකක්ද, බේස් බෝල පිත්තක් හා අත්මේස් යුවලක්ද ටේප් රෙකෝඩරයක්ද විය. වහා එතැනට ගිය මාක් දණගසා ගෙන විසිරී ගිය පොත් පත් එකතු කර ගැනීමට ඔහුට උදව් විය. එමෙන්ම මාක්ද ගමන් කරමින් සිටියේ අනෙක් ළමයා යමින් සිටි දෙසටම බැවින් ඔහුගේ විශාල පොත් ගොන්නෙන් කොටසක් ඔසවා ගෙන යෑමටද මාක් ඉදිරිපත් විය. දෙදෙනා කතා බහ කරමින් යන අතර ළමයාගේ නම බිල් බවද ඔහු වීඩියෝ ක්‍රීඩාවන්ට, බේස් බෝල් ක්‍රීඩාවට හා ඉතිහාසයට දැඩි කැමැත්තක් දක්වන බවද, ඒ අන් කිසිවක් නිසා නොව ඔහු අනෙක් විෂයන්ට ඉතා දුර්වල නිසා බවද මාක් දැන ගත්තේය. එසේම බිල් තම යෙහෙලියගෙන් දින කීපයකට පෙර වෙන් වී ඇති බවද මාක් දැණ ගති.
දෙදෙනාම කතා කරමින් බිල්ගේ නිවස අසලට පැමිණුනු විට යමක් කා බී ටික වෙලාවක් රූපවාහිනිය නැරඹීමට මාක් හට ආරාධනාවක් ලැබිණි. ඒ සවස් කාලය දෙදෙනා සිනා සෙමින් සිය අත්දැකීම් එකිනෙකා හා බෙදා ගනිමින් සතුටින් ගත කළේය. ඉන්පසු මාක් නිවෙස බලා පිටත් විය. ඉන්පසු මිතුරන් දෙදෙනා පාසලේදී බොහෝ විට එකිනෙකා හමුවූ අතර වරක් දෙවරක් එක්ව දිවා ආහාරය ගැනීමටද ගියේය. ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය අවසන් කළ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා එකම විදුහලකට ඇතුලත් වුවද ඔවුන් එකිනෙකා හමුවීමට ඉඩ ලැබුනේ ඉතා කලාතුරකිනි. අවසානයේ උසස් අධ්‍යාපනයේද අවසන් වසරට ඔවුන් පැමිණ තිබිණ. උපාධි ප්‍රධානෝත්සව දිනට සති තුනකට පමණ කලින් තමන්ට ඔහු හමුවී මදක් කතා කිරීමට හැකි දැයි අසා මාක්ට බිල්ගෙන් පණිවිඩයක් ලැබිණි.
වසර ගණනාවකට පෙර දෙදෙනා මුලින්ම හමුවූ අවස්ථාව බිල් මතක් කළේය. "ඔයාට පුදුම හිතෙන්න ඇති මම මොකටද ඔච්චර පොත් කන්දරාවක් ගෙදර උස්සගෙන ගියේ කියල..නේද?" බිල් ඇසුවේය. "ඔයා දන්නවද, මම පාසලේ මගේ කබඩ් එක අස්කරල ඒකෙ තිබුන හැමදේම තමයි එදා ඒ අරන් ගියේ. මොකද මට වුවමනා වුණේ නෑ මගේ කුණු ගොඩවල් තව කෙනෙකුට අස් කරන්න ඉඩ තියන්න. මම කලින්ම අපේ අම්මගෙ නිදි පෙති වගයක් ගෙදර හංගල තිබ්බෙ. මම එදා ගෙදර ගියේ ජීවිතේ නැති කර ගන්න. ඒත් අපි මුණ ගැහිල කතා බහ කරමින්, සිනා සෙමින් පැය කීපයක් ගත කරාට පස්සෙ මට තේරුම් ගියා මම ජීවිතේ නැති කරගත්ත නම් මට ඒ ප්‍රීතිමත් හමුවීමත් ඊට පසුව එළඹෙන්නට ඉඩ තිබුණු තවත් ප්‍රීතිමත් දිනයනුත් මග හැරෙන්නට තිබුණු බව. ඉතිං මාක් ඔයාට පේනවද, එදා මගේ පොත් අහුලල දීපු වෙලාවෙ ඔයා කළේ පොත් අහුලනවට වඩා හුඟක් ලොකු දෙයක්. ඔයා මගේ ජීවිතේ බේරුවා"
- John W. Schlatter -
"සෑම අයකුටම ශ්‍රේෂ්ඨයෙකු විය හැකියි. මක් නිසාද සෑම අයෙකුටම තවෙකෙකුට යම් සේවයක් කිරීමේ අවස්ථාව පවතින බැවිනි. එසේ යමෙකුට සේවයක් කිරීමට ඔබට උපාධියක් හෝ නිසි අවස්ථාව එනතුරු කල් බැලීමක් හෝ අවැසි නැත. ඔබට ඊට අවශ්‍ය වන්නේ කාරුණික හදවතක් සහ ආදරය රැඳි ආත්මයක් පමණි"
- මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) -

No comments:
Post a Comment