Monday, December 18, 2017


ජීවිතය නම් වූ කෝපි බඳුන
++++++++++++++++++
සිය වෘත්තියන්හි ඉහලටම ගිය යහළුවන් පිරිසක් කලකට පසු සිය පැරණි ගුරුවරයෙකු වු විශ්ව විද්‍යාල මහචාර්යවරයෙකු හමුවීමට ගියහ. සතු‍ටු සාමීචි කතාවන් කෙළවර සියල්ලන්ගේ මාතෘකාව වූයේ ජීවිතයේ ප්‍රශ්ණ, වෙහෙස, දුෂ්කරතා හා මානසික ආතතියයි. කතා බහ යන අතරතුර සිය පැරණි ගෝලයන්ට සංග්‍රහයක් කිරීමට සිතූ මහාචාර්ය තුමා මුළුතැන්ගෙට ගොස් නැවත පැමිණියේ කෝපි පෝච්චියක්ද බන්දේසියක් මත තැබූ විවිධාකරයේ කෝප්ප රාශියක්ද ඇතුවය.

ඇතැම් කෝප්ප ඉතා අලංකාර හා මිල අධික වූ අතර ඇතැම් ඒවා වර්ණවත්ද, ඇතැම් ඒවා චාම් වර්ණයෙන්ද යුතු විය. ඇතැම් කෝප්ප පිඟන් මැටියෙන්ද ඇතැම් ඒවා ප්ලාස්ටික්, වීදුරු හෝ පලිඟු වලින්ද සදා තිබිණ. මහාචාර්ය තුමා සිය පැරණි සිසුන්ට කෝපි පානය කිරීමට ආරාධනා කලේය. සියල්ලන් කෝප්ප වලට කෝපි වත් කරගත් පසු මහාචාර්ය තුමා කතා කරන්නට පටන් ගත්තේය.

"දැන් බලන්න දරුවනේ ඔය ගොල්ලන්ට පේනව ඇති හැමෝම අලංකාර සහ මිල අධික කෝප්ප තමයි අරගෙන තියෙන්නෙ. අනෙක් ලාබ එතරම් පෙනුම නැති කෝප්ප බන්දේසියෙ ඉතුරු වෙලා තියෙනව. ඔයාල හැමෝටම ජීවිතේ හොඳම දේවල් වුවමනා වීම පුදුමයක් නෙවෙයි. නමුත් ඒකම තමයි මේ හැම කරදරයකම හැම මානසික ආතතියකම මුල.
කෝප්පයෙන් කෝපි වල රසයට අලුතින් කිසිවක්ම එකතු වෙන්නෙ නෑ. ඒ වගේම සමහර අවස්ථාවලදි කෝප්පය කෝපි වලට වැඩිය ඉතා මිල අධික වනවා විතරක් නෙවෙයි අපි බොන්නෙ මොනවද කියල හොයා ගන්න බැරි තත්වයටත් පත් කරනව. ඔබට ඇත්තටම බීමට අවශ්‍ය කෝපි මිසක් කෝප්පය නොවෙයි නේද? නමුත් ඔබ හිතා මතාම ‍තෝර ගත්තෙ හොඳම කෝප්පෙයි. ඒ වගේම ඔබ අන් අයගෙ කෝප්ප දිහා හොරෙන් බලනවත් මම දු‍ටුවා.

හිතන්න, ජීවිතේ කියල කියන්නෙත් හරියටම මේ කෝපි වගේ. කෝප්පෙ තමයි ඔබේ ‍රැකියාව, තනතුර සහ සමාජ තත්වය යනාදිය. නමුත් ඒවා ජීවිතය රඳවා ගෙන සිටින උපකරණ මිස ජීවිතය නොවේ. "කෝප්පයේ" වර්ගය කිසිදා ඔබේ ජීවිතයේ තත්වය ඉහල නංවන්නේ නැහැ. සමහර විට අපි කෝප්පය ගැනම අවධානය යොමු කිරීමෙන් ජීවිතයේ සතුට විඳ ගැනීමට අපොහොසත් වෙනව. ඒ නිසා කෝප්පය නොවෙයි ජීවිතය විඳින්නට පුරුදු වෙන්න"

No comments:

Post a Comment